ජනතාවගේ ජීවන බර අවම කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අවධාරණය කරයි

Share Button

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ අවසන් දිනය අදයි. ඒ අනුව අද පස්වරු 4.30 ට දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරේ.
අද රජය වෙනුවෙන් විවාදය ආරම්භ කළ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ කුමන ආර්ථික අභියෝග හමුවේ වුවද රටේ සම්පත් විකිනීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවයි. වැරදි තැන් නිවැරදි කර රට ඉදිරියට ගෙන යාහැකිය. ඒ සඳහා ණය ප්‍රතිව්‍යුහගත කර රජයේ ආදායම වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි රාජපක්ෂ මහතා කීවේය. මහබැංකුවේ අධීක්ෂණ පද්ධතිය කාර්යක්ෂ්ම කර අපනයන ආදායම වැඩි කර ගත යුතුය. දේශීය නිෂ්පාදකයින් දිරිගැන්විය යුතුය. ඒ සමග සමාජ ආරක්ෂණය තහවුරු කළ යුතු බව හෙතෙම කීවේය. ජනතාව මත ඇති වන ජීවන බර අවම කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යැයි ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. නව ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය පදනම මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
සංචාරක වීසා මත රැකියා සඳහා විදෙස්ගතව විවිධ ගැටලුවලට මුහුණ දුන් පිරිස යලි මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුවී ඇතැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය වැනි රටවල වීසා පටිපාටිය ලිහිල් කිරීම නිසා සංචාරක වීසා මත විදෙස් ගතවන කාන්තාවන්ට රැකියා වීසා ලබාදීම සිදු කෙරේ. රැකි රක්ෂා මත යන බව නොපවසා සංචාරක වීසා මත විදේශ ගතවු බොහෝ කාන්තාවෝ විවිධ දුෂ්කරතාවලට මුහුණදී සිටිති. මේ නිසා ඕමානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් හි ගෘහස්ථ හා නුපුහුණු ක්‍ෂේත්‍රයන් හි රැකියා සඳහා යොමු වන කාන්තාවන්ගේ ස්වයං ලියාපදිංචිය මීට මාසයකට පෙර සිට අත්හිටවු බබවද අමාත්‍යවරයා කීවේය.

මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ විදේශ සේවා නියුක්ති කාර්යාලවල නිලධාරි සංඛ්‍යාව අඩුවීම නිසා මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට නොහැකි වී ඇති බවයි. ඒ පිළිබඳ රජයේ අවධානය යොමුකරන්නැයි ඔහු ඉල්ලීමක් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...