සරුසාර අස්වැන්නක් වෙනුවෙන් හින්දු බැතිමතුන් හිරු දෙවියන් පුදන ත්‍රෛපොංගල් දිනය අදයි

Share Button

සරුසාර අස්වැන්නක් සැපයීම වෙනුවෙන් හින්දු බැතිමතුන් හිරු දෙවියන්ට පුදපුජා පවත්වන ත්‍රෛපොංගල් දිනය අදයි. සම්ප්‍රදායිකව සකස් කරගත් කිරිබත හිරු දෙවියන්ට පිදීම මගින් ඔව්හු අලුත් අස්වැන්න වෙනුවෙන් දෙවියන්ට කෘතගුණ සලකති. දමිළ දින දර්ශනයේ දසවෙනි මාසය හදුන්වන්නේ ත්‍රෛයි ලෙසයි. පොංගල් යන්න සාමාන්‍යයෙන් උත්සවය සදහා භාවිත කෙරේ. හකුරු සහ කිරි සහිත සහල් දැමු නවතම මැටි බදුනකට දුඹුරු පැහැති සිනී. එලගිතෙල්. කජු සහ වියළි මිදී එක්කර පිළියෙල කර ගන්නා සම්ප්‍රදායික ආහාර බදුන හැදින්වෙන් ද පොංගල් යනුවෙනි. අලුත් ලිපක අලුත් මුට්ටියක කිරි උතුරුවා ගැනීම මෙම උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයකි.

පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතාව හා පෝෂණය සහතික කරමින් ස්වයංපෝෂිත රටක් ගොඩනැගීමට රජය ගන්නා උත්සාහය අර්ථවත කරන අවස්ථාවක් ලෙස ත්‍රෛපොංගල් උත්සවය හැදින්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරයි. කෘෂිකර්මාන්තය නවීකරණය සදහා රජය පුඵල් අවධානයක් යොමුකර ඇත. ජාත්‍යන්තර වෙළෙඳපොලේ තරගකාරීිත්වයට ගැලපෙන තාක්ෂණය මත පදනම් වු ඵලදායි තිරසර සහ ලාභදායි කෘෂිකර්මාන්තයක් ගොඩනැංවීම අරමුණයි. රජයේ එම නව ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට දායක වෙමින් ආර්ථික සමෘද්ධිය උදාකරගත් රටක් ගොඩනැංවීමට එක්වන්නැයි ජනාධිපතිවරයා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සිය සුබපැතුම් පණිවිඩයෙන් පවසන්නේ ජාතික සංස්කෘතියේ අංගයක් බවට පත්ව ඇති ත්‍රෛපොංගල් උත්සවය සාමය එකමුතුව හා දයාව මුලික කරගත් සාරධර්ම මුර්තිමත් කිරීමට ඉවහල් වන බවයි. කෘෂිකාර්මික හරිත රටාවකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇති ආහාර සුරක්ෂිතාව හා ග්‍රාමීය පුනර්ජීවනය සදහා වන සක්‍රීය සංකල්පයට එම උත්සවය උත්තේජනයක් වනු ඇතැයි අගමැතිවරයා විශ්වාස පළ කරයි.

මෙවර ත්‍රෛපොංගල් ජාතික උත්සවය නුවරඑලිය තලවාකැලේ ශ්‍රී කදීරේෂන් කෝවිල් පරිශ්‍රයේදී අද පැවැත්වෙයි. හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධාන කර ඇති එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ඇමති විදුර වික්‍රමනායක මහතායි.

ත්‍රෛපොංගල් උත්සවය යෙදි ඇති අද දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලිය කප්පාදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

ත්‍රෛපොංගල් උත්සවය නිමිත්තෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියලු මත්පැන් අලෙවිසැල් අද වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය හා රිදීමාදිලයද්ද හැර සෙසු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල මත්පැන් අලෙවිසැල් අද වසා තැබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...