ඉන්දු පකිස්ථාන අර්බුදකාරී වාතාවරණය නිරාකරණය කර ගැනීම සදහා සාකච්ඡාමය විසදුමකට අවතීර්ණ වන්නැයි ඇමරිකාව හා රුසියාව දෙරටේ නායකයින්ට දැනුම් දෙයි

Share Button

කලාපයේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ඉල්ලීමක් කරයි. නිවේදනයක් නිකුත් කරන විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඉන්දියාවේ පුල්වාමාහිදී එරට ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව දෙරට අතර හටගත් සිදුවීම් පිලිබද ශ්‍රී ලංකා රජය දැඩි කණස්සල්ල පල කරන බවයි. දකුණු ආසියානු කලාපයේ සාමයට හා ස්ථාවරභාවයට ශ්‍රී ලංකා රජය සිය උපරිම සහාය පල කරන බවද එම නිවේදනයේ දැක්වේ. ඉන්දිය හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකක් පකිස්ථානය බිද හෙලීමත් සමග දෙරට අතර නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගත වී ඇත. මෙම තත්ත්වය සාමකාමීව සාකච්ඡාව කොට විසදා ගන්නැයි ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව දෙරටේ නායකයින්ට දැනුම් දී තිබේ. මේ අවස්ථාවේදී වැදගත් වන්නේ දෙරටේ සිවිල් ජනතාවගේ සහ දකුණූ ආසියානු කලාපයේ ආරක්ෂාවට මුල්තැන දීම බවද ඇමරිකාව හා රුසියාව පෙන්වා දෙයි. මේ අතර ප්‍රහාරක ජෙට් යානා අනතුරෙන් පසු පකිස්ථානය භාරයට ගැනුනු ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කර ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.
තවද පකිස්ථාන රජය සිය ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් ලාහෝර් සහ කරච්චි බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකන් එයා ලයින්ස් හි අදට නියමිත ලාහෝර් හා කරච්චි ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...