රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගෙන් කිසිදු බලපෑමක් එල්ල නොවු බව තේරීම් කාරක සභාව හමුවේ යුද හමුදාපතිවරයා ප්‍රකාශකරයි

Share Button

පාස්කු ඉරිදා දින එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව හමුවට යුද හමුදාපති ලුතතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද කැදවනු ලැබීය. එහිදී සාක්‍ෂි ලබාදෙමින් ඔහු පැවසුවේ අප්‍රේල් 26 වැනිදා ඉෂාන් අහමඩ් නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා දුරකථනයෙන් තමාගෙන් විමසු බවයි. එවැනි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව තමා පැවසු බවත් ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගෙන් තමාට බලපෑමක් හෝ වෙනයම් බලකිරීමක් සිදු නොවු බවත් හෙතෙම සදහන් කළේය. අත්අඩංගුවට ගත් පුද්ගලයා හිටපු අමාත්‍යවරයාගේ උසස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු වු බැවින් ඒ පිළිබඳ සොයා බලන ලෙස ඉල්ලීමක් කළ බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබාදීම සදහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් රංජිත් අශෝක මහතාද අද කැදවනු ලැබීය. එහිදී සාක්‍ෂි ලබාදෙමින් ඔහු අවධාරණය කලේ සතොස ආයතනයේ වාහන අනවසරයෙන් ත්‍රස්ත ක්‍රියා සදහා භාවිතා කර නොමැති බවයි. ඊබ්‍රාහිම් නැමැති ත්‍රස්තවාදී සැකකරු තම අමාත්‍යංශයට පැමිණී බවට තමා නොදන්නා බවද හෙතෙම ප්‍රකාශ කළේය. සිය අමාත්‍යංශය මගින් ත්‍රස්තවාදී ක්‍රියා සදහා කිසිදු අනුබලයක් ලබාදී නොමැත.
දිනයේ තෙවන සාක්‍ෂිකරු වශයෙන් කර්මාන්ත හා සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී පී . එල් යු. රත්නමලල මහතා කාරක සභාව හමුවට කැදවීය. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබු කර්මාන්ත ශාලාව ලියාපදිංචි ආයතනයක් බවට පත්කලේ අබලි ද්‍රව්‍ය මිලදී ගැනීමට සහ ඒවා උණුකිරීමට කර්මාන්ත ශාලාව සතුව පැවැති හැකියාව හේතුවෙන් බව ඔහු එහිදී පැවසීය. අබලි ද්‍රව්‍ය ටොන් සියයකට වඩා නිකුත් කිරීමේදී අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය බවට මාධ්‍ය මගින් අසත්‍ය වාර්තා පල කළ බවද ඔහු ප්‍රකාශ කළේය. කර්මාන්ත ශාලාවට තඹ ලබාදීමට රිෂාඩ් බදියුදින් හිටපු අමාත්‍යවරයා කිසිදු බලපෑමක් නොකළ බව ඔහු ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා අද තේරීම් කාරක සභාව හමුවට කැදවිමට නියමිතව සිටියද ඔහුගේ සාක්‍ෂි ලබාගැනීම ලබන සිකුරාදාට කල් දමනු ලැබීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *