වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිදුවිීම පිළීබඳ තවත් තොරතරු රැසක් හෙලිවෙයි

Share Button

වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිදුවීමෙන් රැදවියන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එරෙහිව අධිකරණයේ පාපොච්චාරණයක් කරන ලෙස බන්ධනාගාර රෝහලට පැමිණි මර්වින් සිල්වා මහතා තමාට යෝජනා කළ බව හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතා පවසයි  2018 වසරේ මැද භාගයේදී පමණ මෙම යෝජනාව කළ බව ඔහු කියා සිටියේ පසුගිය යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සදහා වන කොමිසම හමුවේ අද පෙරවරුවේ සාක්ෂි ලබාදෙමිනි  සාවද්‍ය හා ගොතන ලද සාක්ෂි මත යහපාලන රජය සමයේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමට එරෙහිව එමිල රන්ජන් ළමාහේවා මහතා මෙම කොමිසම හමුවේ පැමිණිලිකර තිබිනි  පැමිණිල්ල අද පෙරවරුවේ නැවත කැදවු අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන්ගේ සහෝදරයන්ගේ සම්බන්ධතාව හා රාජකාරි අමනාපකම් හේතුවෙන් අසත්‍ය චෝදනා මත දේශපාලන පළිගැනීමේ අරමුණින් වැලිකඩ බන්ධනාගාර සිද්ධියට තමාගේ නම සම්බන්ධ කර නඩු පවරා ඇති බවයි  ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් මෙන්ම ප්‍රධාන පෙලේ භික්ෂුන් වහන්සේ කිහිපනමක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බැවින් ඔවුන් බැලීමට පැමිණි අවස්ථාවේ මර්වින් සිල්වා මහතා තමා හමුවන්නට ඔහු පැමිණෙන්නට ඇති බවත් තමාගේ අනුමැතියකින් හෝ විමසිමකින් තොරව ඔහු පැමිණී බවත් ළමාහේවා මහතා පැවසිීය  එම අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රංගජීව මහතා ද තම ආසන්නයේ සිටි බව ඔහු කොමිසම හමුවේ පැවසීය  මේ අතර  හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ පිළිබඳව ප්‍රකාශයක් සිදුකර තිබේ  මහර බන්ධනාගාරයේ අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ හිටපු අධීකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට පැමණි අවස්ථාවේ එමිල් රන්ජන් මහතා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් තමා සමග කථා කළ බව පැවසු බවයි  වැලිකඩ බන්ධනාගාර සිද්ධියට අණදුන් අයගේ නම් කියන ලෙස තලතා අතුකෝරල අමාත්‍යවරිය පැවසු බවද ඔහු සදහන් කළේය

ඊට පිලිතුරු ලෙස එවැන්නක් තමන් නොදන්නා බව තමා පැවසුවිට එසේ නම් නඩුවට පෙනි සිට නිදහස්වීමට සිදුවන බව අමාත්‍යවරිය ප්‍රකාශ කළ බව ජගත් චන්දන වීරසිංහ මහතා සදහන් කළේය  ඒ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියාත්මක වීමේ වාතාවරණයක් පැවති බැවින් අණදුන් අයගේ නම් ප්‍රකාශ කරන්නැයි හිටපු අමාත්‍යවරිය කළ ප්‍රකාශයෙන් පැහැදිලි වුයේ එහි අරමුණ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඊට සම්බන්ධ කිරිම බවට තමාට හැගුණු බව ඔහු පැවසීය  එමෙන්ම බන්ධනාගාර අධිකාරිවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙක් වු එමිල් රන්ජන් මහතාගේ නිර්දෝෂිභාවය සම්බන්ධයෙන් එහි ලේකම්වරයා වශයෙන් තමා ප්‍රමුඛ බන්ධනාගාර අධිකාරිවරුන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකළ බව ද ඔහු පැවසීය  ඒ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරන බවට රාවයක් පැවති බැවින් බන්ධනාගාර අධිකාරිවරුන් වශයෙන් තමා ඇතුඵ නිලධාරීන් දැඩි ප්‍රසාදයෙන් පසුවු බව ඔහු පැවසීය  ඊට හේතු වුයේ ගෝඨාභය රාජපක්ෂ වැනි ගෞරවනීය විනයක් සහිත ඉවසිමෙන් හා සංයමයෙන් යුත් උගත් බුද්ධිමත් දේශපාලනඥයෙකු මෙරට ඉතිහාසයේ මීට පෙර පත්වී නොසිටිම බව යැයි පෙන්වා දුන් ඒ මහතා ජනාධිපතිතුමා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත්වුවහොත් රටේ කැපිපෙනෙන වෙනසක් ඇතිවනු යන විශ්වාසය තිබු බවත් ප්‍රකාශ කළේය වර්තමානයේ එතුමාගේ මැදිහත්වීමෙන් බන්ධනාගාර ක්‍ෂේත්‍රයේ කැපි පෙනෙන දැවැන්ත වෙනසක් සිදුවෙමින් පවතින බව පෙන්වාදුන් ඔහු තමන්ගේ අධිකාරීවරයෙකු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කිරීමත් සමග ඉදිරියේදි බන්ධනාගාරවල පැහැදිලි වෙනසක් සිදුවනු ඇතැයි ද පැවසීය

මේ අතර  කොමිසම හමුවේ සාක්ෂි දුන් තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු කියා සිටියේ අශෝක ජයතුංග නැමැති පුද්ගලයෙකු හිටපු අගමැති කාර්යාලයෙන් පණිවිඩයක් රැගෙන එමිල් රන්ජන් ළමාහේවා මහතා හමුවීමට වැලිකඩ බන්ධනාගාරයට පැමිණ සිටි බවයි  ඒ සම්බන්ධයෙන් විමසිමේදී එමිල් රන්ජන් මහතා පැවසුවේ වැලිකඩ බන්ධනාගාර සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම කියන ලෙසත් එසේ කළහොත් ඉක්මනින් නිදහස ලැබෙන බවත් ඉන් ප්‍රකාශ කර ඇති බවත්ය  කොමිසම අද රැස්වූයේ එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි  හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍ර ජයතිලක සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරු කොමිසමේ සාමාජිකයෝ වෙති
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට එවකට පැවති රජය පත්කළ විනිසුරු බන්දුල අතපත්තු කමිටුවේ සාමාජිකයෙකු වු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගුණසේන තේනබදු මහතා ද මෙහිදී සාක්ෂි ලබා දුන්නේය  ඔහු එහිදී කියා සිටියේ එම කමිටුව නිර්දේශ 17 ක් ඇතුලත් පිටු 540 ක වාර්තාවක් ඉදිරිපත් කළ බවයි  අදාල සිද්ධිය සිදුවිී දින තුනකට පසු එවකට බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධිර මහතාගේ උපදෙස් මත අමාත්‍යංශ ලේකම්වරයා මෙම කමිටුව පත්කළ බවයි  එහෙත් යහපාලන රජය බලයට පත්වු පසු එම කමිටු වාර්තාව සැලකිල්ලට නොගෙන තවත් කමිටුවත් පත්කිරීම ගැටඵ සහගත බවද ඔහු පෙන්වා දුන්නේය  ඒ යහපාලන රජය සමයේ රාජ්‍ය නිලධාරින්ට විරුද්ධව සිදු කෙරුනු ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව කටයුතු කිරිමේ අරමුණින් බව ඔහු පැවසීය  ඊට අදාල වැඩිදුර විභාගය ලබන  14 වැනිදා සිදු කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *