කාගේවත් තිරපිටපතක් හොරකම් කළේ නෑ- තමන්ට එල්ලවන චෝදනාවලට සෝමරත්න දිසානායක පිළිතුරු දෙයි.

Share Button

රේණුකා බාලසූරිය මහත්මිය නිෂ්පාදනය කිරීමට සැරසෙන නවතම  චිත්‍රපටය සිය තිර රචනයක් බවත් අනවසරයෙන් එය චිත්‍රපටයක් ලෙස අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කිරීමට සැරෙසන බව පවසා  දෙහිවල මල්වත්තේ පදිංචි, නඩරාජා මනිවානන් නැමැත්තා විසින් ආචාර්ය සෝමරත්න දිසානායක මහතාට හා රේණුකා බාලසූරිය මහත්මියට විරුද්ධව චෝදනා එල්ල කර තිබේ.

එම තැනැත්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ජානක එදිරිසිංහ මහතා මඟින් රේණුකා බාලසූරිය මහත්මිය වෙත අදාළ චිත්‍රපටයේ වැඩ කටයුතු නවතන ලෙස දන්නවා ලිපියක් ද යොමු කළ බව සඳහන් වේ.

සුනාමි ව්‍යසනය පිළිබඳ කියවෙන තමන් අධ්‍යක්ෂණය කිරීම ආරම්භ කළ “සුනාමි”  චිත්‍රපටය දීර්ඝ කාලීන පර්යේෂණ ක්‍රියාවලියකින් අනතුරුව වැඩ ආරම්භ කළ සිනමා නිර්මාණයක් බව  එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා පවසයි.

අදාළ නැතැත්තා විසින් සමාජ මාධ්‍ය තුළින්  තමන් ඔහුගේ පිටපතක් අනවසරයෙන් සිනමා කෘතියක් ලෙස නිර්මාණය කිරීම සඳහා යොදාගත් බවට ප්‍රකාශ කරමින් තමන්ට අපහාස කළ බව පෙන්වා දුන් සෝමරත්න දිසානායක මහතා ඒ වෙනුවෙන් වන්දි ලබා ගැනීමටද ක්‍රියාකරන බව අප කළ  විමසීමකදී පැවසීය.

එමෙන්ම සිය සිනමා කෘතිය නිර්මාණය කිරීම පිණිස තමන් සිදුකළ පර්යේෂණ පිළිබඳව ජාතික හා අන්තර්ජාතික වශයෙන් සාක්ෂි ඉදිරිපත් කළ හැකි බව පැවසු සෝමරත්න දිසානායක මහතා අදාළ පුද්ගලයා තමන්ට එරෙහිව නඩු පැවරීම තුළින් සිය නිරවද්‍යභාවය අධිකරණය ඉදිරියේ දී ඔප්පු කිරීමට අවස්ථාව හිමිවන බවද කියා සිටියේය.

මේ පිළිබඳව මාධ්‍ය හමුවක් එළඹෙන සඳුදා (06) පෙ.ව 11.00 ජාතික චිත්‍රපට  සංස්ථාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පැවසු  දිසානායක මහතා තමාට මේ පිළිබඳ සත්‍ය දැනගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට ඊට සහභාගී විය හැකි බවද දැනුම් දුන්නේය.

එමෙන්ම අතිශ්‍යය කාර්යබහුල සමයක අනවශ්‍ය කරුණක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවීම කනගාටුවට කරුණක් බවද සෝමරත්න දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

 

 

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...