සැම මාස 3කටම වරක්ම වෘත්තීය සමිති සහ ජනාධිපතිතුමා අතර හමුවක්

Share Button

සේවක කම්කරු ගැටළු විසදීමට රජය කැපවී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි. ජනතාව වත්මන් රජය බලයට පත්කළේ විශාල බලාපොරොත්තුවකිනි. ජනතාවට දුන් පොරොන්දු එලෙසම ඉටුකිරීම සදහා රජයට උදව් වන්නැයි එතුමා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සේවාවන් සහ සංස්ථා මණ්ඩලවල දිගු කලක් තිස්සේ නොවිසදුනු ගැටළු රාශියක් හදුනාගෙන තිබේ. වැටුප් සහ උසස්වීම් විෂමතා බදවා ගැනීමේ පටිපාටියේ ගැටළු ඉන් කිහිපයකි. වෘත්තිය සමිති සමග සාකච්ඡා කොට ගැටළු විසදීමට රජය සෑමවිටම සුදානම් වෙයි. ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාල සභා ශාලාවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත හමුව අමතමින් එතුමා මේ බව කීවේය. වත්මන් රජය බලයට පත් කිරීමට පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති කළ දායකත්වය එතුමා අගය කළේය.

වෘත්තීය සමිතිවලට සවන් දීමටත් එම සමිති සමග සහයෝගයෙන් වැඩ කිරීමටත් රජය සෑම විටම සුදානම්ය. කොවිඩ් අර්බුදය සමනය වෙමින් පවති. එබැවින් ඉදිරියේදී මාස 3 කට වරක් වෘත්තිීය සමිති හමුවී සාකච්ඡා කරන බව ජනාධිපතිතුමා කීවේය. සෑම ආකාරයකම රාජ්‍ය ආයතන අරමුදල් සදහා භාණ්ඩාගාරය මත යැපෙන තත්ත්වය නැතිකොට කාර්යක්‍ෂ්ම හා ලාභදායි ආයතන බවට පත්කිරීමට උදව් වන්නැයි ජනාධිපතිතුමා සමිති නියෝජිතයන්ට අවධාරණය කළේය.

රජය භාරගන්නා විට රට මත විශාල ණය බරක් පැටවී තිබුණි. එහෙත් අභියෝග ජයගන්නේ කෙසේදැයි රජයට දැක්මක් තිබේ. එහි ජයග්‍රහණ රැසක්ද මේ වනවිට අත්කරගෙ තිබේ. මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක් වු සංචාරක ව්‍යාපාරය මුලුමනින්ම බිද වැටී ඇත. තවත් බොහෝ ආදායම් මාර්ග ඇහිරී තිබේ. එහෙත් රැකියා පෝලිමේ සිටි විශාල පිරිසකට රැකියා ලබාදීමට ක්‍රියාකර ඇත. ඇතැම් පිරිස් යථාර්ථය විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි මත පතුරුවා හරිමින් සිටී. වෘත්තීය සමිති සමග සමගියෙන් වැඩ කරන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය. එහි යම් අඩුවක් තිබේ නම් ඉදිරි කාලයේදී නිවැරදි කරන බවද එතුමා කීවේය.

රාජ්‍ය ආයතන තුල සේවාවන්හි වෘත්තීය සාමය ඇති කිරීමට රජය සමත්වී ඇතැයි ප්‍රගතිශිලී වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති ඇමති ගාමීණී ලොකුගේ මහතා කීවේය. සෑම සංස්ථාවකටම කම්කරු අධ්‍යක්‍ෂවරයෙකු පත් කරන්නැයි ඔහු ජනාධිපතිතුමාට යෝජනා කළේය.

දින 180 ක සේවා කාලය සම්පුර්ණ කළද මෙතෙක් ස්ථිර පත්වීම් ලැබී නොමැති පිරිස් පළාත් පාලන ආයතනවල සිටින බව වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දුන්හ. එම ආයතනවලට බරක් නොවන අයුරින් එවැනි සේවකයන්ගේ රැකියා සුරක්‍ෂිත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා මෙහිදී කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...