වැලිකඩ බන්ධනාගාරය හොරණට රැගෙනයාමෙන් නිවාස හා දේපළ අහිමිවන අයට වන්දි
බොරැල්ලේ පිහිටි බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිස්ථාපිත කිරීමට යෝජිත හොරණ මිල්ලෑව වතුයායට අයත් භුමිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්වෙයි. මෙහිදී ජනාධිපතිතුමා වතුයායේ පදිංචිකරුවන් ද හමුවී තොරතුරු විමසා බැලීය. ඉදිකිරීම් හේතුවෙන් ඔවුන්ට අහිමි වන දේපළ වෙනුවෙන් වන්දි සහ නිවාස ලබාදීමට කඩිනම් පියවර ගන්නා ලෙස එතුමා අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේය.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම භුමියේ අක්කර 200 ක කොටසක් මේ සදහා වෙන්කර ඇත. වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය, බන්ධනාගාර රෝහල, පුහුණු පාසල, බන්ධනාගාර බුද්ධි අංශය සහ ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව මෙම භුමියේ ඉදිකිරීමට නියමිතයි.
සිපිරි සුවසෙත් උදාන මිල්ලෑව රැඳවුම් හා විශෝධන මධ්‍යස්ථානය ලෙස නම්කර ඇති ව්‍යාපෘතිය වෙනුවෙන් මහ භාණ්ඩාගාරයෙන් මුල්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීම විශේෂත්වයකි. මෙම නව ව්‍යාපෘතියෙන් සිරකරුවන්ගේ සුබසාධනය කෙරෙහි ප්රමුඛ අවධානය යොමුකර ඇතැයි නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පෙන්වා දෙයි.