ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගයට අගමැතිවරයාගෙන් විසදුම් – ඊට අදාල ගුරු හා විදුහල්පති සංගම්වල අවසන් තීරණය අද

Share Button

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති ගෙනයන අරගලයට විසදුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩි කිරීමට රජය එකගත්වය පළකරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම වෘත්තිය සමිති නියෝජිතයන්ට දැනුම් දෙයි. අගමැතිවරයා ඊයේ ගුරු විදුහල්පති වෘත්තිය සමිති අරලියගහ මන්දිරයට කැදවා එම විසදුම් යෝජනාව ඉදිරිපත් කළේය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සදහා පත්කළ ඇමති අනුකමිටුවේ යෝජනාව අනුව කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වැටුපේ පලමු අදියර 2022 අයවැය මගින් ද, ඉතිරි කොටස් දෙක 2023 අයවැය මගින් ද ලබාදීමට අගමැතිවරයා එහිදී යෝජනා කළේය. ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ ගැටඵව සම්බන්ධයෙන් රජය සංවේදි වන බවත්, වැටුප් විෂමතා ඉවත් කළ යුතු බව තමා පිළිගන්නා බවත් ඔහු එහිදී සදහන් කළේය.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මහ භාණ්ඩාගාරයට මුදල් ලැබිම සීමාවී ඇති බැවින් එකවර එම ඉල්ලීම ඉටු කිරීමට නොහැකි බව අගමැතිවරයා පැවසීය. දරුවන්ගේ අධ්‍යාපනය බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත රජය මෙම විසදුම් යෝජනාව ඉදිරිපත් කරන බව ඔහු සදහන් කළේය. 2021-08-09 දිනැති ඇමති මණ්ඩල තීරණය මගින් ඇමති ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අනුකමිටුව ඉදිරිපත් කළ තීරණය ඉදිරියේදී ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ගුරු උපදේශක , විදුහල්පති සේවාවන් සංවෘත සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාල විධිවිධාන ලබන මාසයේ ප්‍රකාශයට පත්කරන අතර අනෙකුත් නිර්දේශ මාස හයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අගමැතිවරයාගේ විසදුම පිළිබඳව ගුරු හා විදුහල්පති සංගම් අද අවසන් තීරණයකට එලඹෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලිං මහතා කියයි.

ගුරු විදුහල්පති ගැටඵව විසදාගෙන පෙරට යාම සැමගේ වගකිම බව රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙන්වා දෙයි. එම ගැටඵව ඉදිරියට ඇදියාමෙන් සිදුවන්නේ අනාගත පරපුරට අධ්‍යාපනය අහිමිවීමයි. අහිංසක දරුවන් වෙනුවෙන් මෙම ගැටඵව කඩිනමින් විසදා ගැනීමේ අවශ්‍යතාව රාජ්‍ය ඇමතිවරයා අවධාරණය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *