දරුවන්ට උගන්වමින් තම ඉල්ලීම් දිනා ගන්නැයි මහා සංඝරත්නය ගුරු සංගම්වලින් ඉල්ලති

Share Button

දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම කෙරෙහි අන් සියල්ලටම වඩා අවධානය යොමු කරන්නැයි මහනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වර්ජනයේ නිරත ගුරු හා විදුහල්පති වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටිති. එම වෘත්තීය සමිති මේ අවස්ථාවේ කළ යුත්තේ දරුවන්ට අධ්‍යාපනය සපයන අතරතුර තම වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමයි.

රට තුල පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද වැටුප් විෂමතා නිරාකරණයට අගමැතිවරයා ප්‍රමුඛ රජය සාධනීය විසඳුම් ඉදිරිපත් කර තිබියදීත් අඛන්ඩව වර්ජනයේ නිරත වීම රටේ අනාගතයට කරන බලවත් හානියක් බව විශේෂ නිවේදනයක් නිකුත්කරමින් මහා සංඝරත්නය පෙන්වා දෙති.

සියල්ල පසෙකලා දරුවන්ට ඉගැන්වීම ආරම්භ කරන්නැයි කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක පුජ්‍ය ආචාර්ය ඉත්තෑපනේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ සියලු ගුරුවරුන්ගෙන් කාරුණික ඉල්ලිමක් කරති. රටට හා රටේ අනාගතයට කළ හැකි හොඳම ආයෝජනය දරුවන් අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීම බව උන්වහන්සේ පෙන්වා දෙති.

දීර්ඝ කාලයක් පාසල් වසා තැබීම හා ගුරුවරුන් මාර්ගගත අධ්‍යාපනයෙන් බැහැර වීම හේතුවෙන් දරුවන් මානසික අර්බුදයකට ලක්ව ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පුජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්සේ පවසති. තවදුරටත් එසේ වීමට ඉඩ නොතබන්නැයි උන්වහන්සේ ගුරුවරුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිති. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හමුවේ බිඳ වැටුනු අධ්‍යාපනය නංවාලීමට සැලසුම් සකස් කරනු වෙනුවට සමස්ත අධ්‍යාපන පද්ධතියම බිඳ වැටෙන ආකාරයෙන් කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව උන්වහන්සේ අවධාරණය කරති.

රජය සාධනීය විසඳුමක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක ඊට අනුකුල වී දැඩි ක්‍රියාමාර්ග ලිහිල් කර දරුවන් වෙනුවෙන් නැවත පාසලට පැමිණෙන්නැයි පුජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිති.

කොළඹ නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ පැවසුවේ අගමැතිවරයා විසඳුම් දුන් සාක්ච්ඡාවේ දී නිහඩව සිටි වෘත්තිය සමිති පිටතට පැමිණ වර්ජනය අඛන්ඩව ක්‍රියාතමක කිරීම සදාචාරාත්මක නොවන බවයි. අවස්ථාවාදී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන ඇතැම් සංගම් අනුව නොයා දරුවන් වෙනුවෙන් පෙළ ගැසෙන්නැයි උන්වහන්සේ ගුරු හා විදුහල්පති ප්‍රජාවගෙන් ඉල්ලා සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *