ප්‍රජා පොලිස් සේවාව ව්‍යාප්ත කිරීමේ නියමු ව්‍යාපෘතිය නුගේගොඩින් ඇරඹේ

Share Button

ප්‍රජා පොලිස් සේවාව ව්‍යාප්ත කිරීමේ නියමු ව්‍යාපෘතිය නුගේගොඩ පොලිස් කොට්ඨාශයෙන් ඇරඹේ. මහරගම තරුණසේවා සභා ශ්‍රවනාගාරයේදී අද පෙරවරුවේ එය සිදුවිය. අමාත්‍යවරුන් වන සරත් වීරසේකර, සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පොලිස්පති සී ඩී. වික්‍රමසිංහ යන මහත්වරු ඇතුඵ පිරිසක් එම අවස්ථාවට සහභාගී වුහ.

ජනාධිපතිතුමාගේ ප්‍රධාන සංකල්පයක් වු ප්‍රධාන පොලිස් සේවාව දිවයිනපුරා ව්‍යාප්ත කිරීමෙන් රටේ අපරාධ විශාල වශයෙන් අඩු කරගැනීමට හැකියාව ලැබෙන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය සරත් වීරසේකර මහතා සදහන් කලේ ප්‍රජා පොලිස් සේවය තුළින් මත්ද්‍රව්‍ය, පාතාල අපරාධ, කාන්තා හිංසනය ඇතුලු සියලු අපරාධ මැඩපැවැත්වීමට හැකිවන බවයි. මෙම වැඩපිළීවෙල යටතේ නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 307 ක් එක්කර ප්‍රජා පොලිස් ඒකක 97 ක් යටතේ මෙම සේවාව ක්‍රියාත්මක කෙරේ. පොලිස් නිලධාරීන් දෙදෙනා බැගින් ගම්මානවලට අනුයුක්ත කර ජනතාව වෙත ගොස් ගැටලුවලට විසදුම් ලබාදීමට ක්‍රියාකෙරේ.

මේ අතර ලබන 21 වැනිදා දිවයිනේ පාසල් විවෘත කිරීමට නියමිතව තිබේ. පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමද එදින ඇරඹේ. මෙදින පාසල් වෙත පැමිණෙන ගුරුවරුන්ට තර්ජනය කිරීමේ වැඩපිළිවෙලක් සම්බන්ධ තොරතුරු පොලිසියට ලැබී තිබේ. මේ පිළිබඳ පොලිසිය දැඩි අවධානයෙන් පසුවෙයි. යම් ආකාරයකින් තර්ජන සිදුකරන අය හසු වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සරත් වීරසේකර මහතා මෙහිදී පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *