සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ රටේ අනාගත පරපුරට බව අගමැති පවසයි

Share Button

සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ භුක්ත විදින්නේ රටේ අනාගත පරපුර බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පුඵල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමිනි.

මෙරට දෙවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය මෙයයි. රටේ අනන්‍යතාව විදහා දැක්වෙන පරිදි ජාත්‍යන්තර ගුවන් පථවලට අනුරූප වන ලෙස නව සැලැස්මකට අනුව ගුවන් තොටුපොල සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ලොව නැගෙනහිර හා බටහිර කලාපයන් යාකෙරෙන ආසියාවේ ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ පළමු පියවර සනිටුහන් කරමින් මෙය විවෘත කෙරිණ.

වැඩි දුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීමෙන පසු දිවයිනට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාවේ ඉහළයාමක් සිදුවු බව කීවේය. මෙරට විනිමය ඉපැයීමේ ප්‍රධානම ආදායම් මාර්ගය බවට එය පත්විය. සංචාරකයන්ගේ පැමිණීම වැඩිවීමත් සමග ගුවන් තොටුපොල පරිහරණය කරන මගීන්ගේ සංඛ්‍යාවද ඉහළ ගියේය. කොවිඩ් වසංගතය හමුවේ වුවද ගුවන් තොටුපොල සංවර්ධන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කෙරිණ. යහපාලන ආණ්ඩුවට කිසිදු සංවර්ධන සැලැස්මක් හෝ සංවර්ධන ඉලක්කයක් නොතිබු බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

මෙම ව්‍යාපෘතිය අවසන් වන විට දැනට මිලියන් 6 ක් වන කටුනායක ගුවන් තොටුපොල මගීන් හැසිරවීමේ වාර්ෂික ධාරිතාව මිලියන 15 දක්වා ඉහළ නැංවීමට හැකියාව ලැබෙයි.

ජපන් ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ බී පැකේජයට වැය කර ඇති මුදල රුපියල් බිලියන 6 කි. නව ව්‍යාපෘතිය සම්පුර්ණයෙන් ඉදිකර අවසන් වනවිට ගුවන් තොටුපොලේ ගුවන් යානා නැවැත්විමේ අංගන සංඛ්‍යාව 48 ක් දක්වා වැඩිවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *