ලොවට උඩින් ඉහිලු කුඩය රැකගමු ඕසෝන් වියන

Share Button

( නදීරා අමරසිංහ)

 

 

මිනිස්සුනට ජීවත්වන්නට අවැසි දෑ බොහෝය. ඔවුන් සිතන පරිදි මිල -මුදල්, යාන- වාහන, ඉඩ- කඩම්, ගේ- දොර, වැනි දෑ ජීවිතය පවත්වා ගෙන යෑමට අවැසි දෑය. නමුත් සත්‍ය එය නොවන බව මොහොතක් කල්පනා කළ විට ඔබට වැටහෙනු ඇත.

ස්වභාවදහමේ නිසි ක්‍රියාකාරීත්වය මානව දිවිය පවත්වා ගෙන යන්නට බළපාන ප්‍රධානතම කරුණයි.

පෘථිවියේ ජීවය බිහිවී නිරන්තරයෙන්ම වායු ගෝලයට ඔක්සිජන් නිකුත්වීම හා දිගින් දිගටම සිදුවු ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය හේතුවෙන් මහා ඔක්සිජන් පිටවීම ( Greater Oxygenated Event)  හෙවත් වායු ගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩිවීම සිදුවිය. ඔක්සිජන් වායුව ජීවය ආරක්ෂා කිරීමට විශාල කාර්ය භාර්යයක් ඉටු කරනු ලබයි.

 

 

ඕසෝන් වායුව හැදෙන්නේ කොහොමද?

ප්‍රභාසංස්ලේෂණය ක්‍රියාවලිය හේතුවෙන් වායු ගෝලයට එක්වන ඔක්සිජන් වායුව (o2) පාරජම්බුල කිරණවල ශක්තිය අවශෝෂණය කර ගනිමින් පරමාණු දෙකක් බවට විඝටනය වේ.

මෙලෙස විඝටනය වු ඔක්සිජන් පරමාණු ඔක්සිජන් අණුවක් සමඟ එක්වීමෙන් ඕසෝන් වායුව (O3) සෑදිණ.

 

 

O3 වායුව පෘථිවිය ආරක්ෂා කරන්නේ කොහොමද?

මිහිමත ජීවය ආරක්ෂා කරන ඕසෝන් වියන නිර්මාණය වීම සඳහා වසර ලක්ෂ ගණනක් ගතවිය. ඉහළ වායු ගෝලයේ පිහිටා ඇති ඕසෝන් වියන පළිහක් සේ ක්‍රියාකරමින් සූර්යයාගෙන් එල්ලවන අහිතකර කිරණින් පෘථිවිය ආරක්ෂා කරයි.

ඕසෝන් වියන පෘථිවියේ පැවැත්මට වැදගත් වෙන්නේ කොහොමද?

ඕසෝන් වියන නොවන්නට පෘථිවියේ  ජීවය ගැඹුරු මුහුදේ පත්ලටම පමණක් සීමා වීමට ඉඩකඩ තිබිණ. පෘථිවියේ ජෛව විවිධත්වය ඇති වුයේද , ජීවීන් ලොව පුරා ව්‍යාප්ත වුයේ ද ඕසෝන් වියන ඇතිවීම හේතුවෙනි.

එපමණක්ද නොවේ, බහු සෛලික ජීවීන් බිහිවන්නේ ද, සත්ත්ව හා ශාක පරිණාමය සිදුවන්නේද ඕසෝන් වියන ඇති වු හෙයිනි. සාගර පත්ලට පමණක් සීමාව තිබු ජීවය සාගර පත්ලෙන් තෙත් බිමටද, තෙත් බිමින්, ගොඩ බිමටද සංක්‍රමණය වී පාථිවිය පුරා ව්‍යාප්ත විය.

ඕසොන් වියන හායනය වීමෙන් සෞඛ්‍ය හා පාරිසරික ගැටව රැසක් ඇති වේ.

 

 

 

මොනවද ඒ සෞඛ්‍ය ගැටළු?

ඕසෝන් වියනට හානිවීම නිසා සූර්ය කිරණ ඍජුවම පාථිවියට පතිත වේ . එලෙස අධික ශක්තියකින්

යුත් පාරජම්ජුල කිරණ චර්ම රෝග ඇති කිරීමට සමත්ය. ඒ අනුව,

  • සම පිලිස්සීම.
  • අකලට සම මහළු වීම.
  • සමේ පිළිකා ඇති වීම.

සිදුවේ.

 

 

 

එමෙන්ම අක්ෂි රෝග ඇති වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි ඇති වීම හේතුවෙන් ලෙඩ රෝගවලට , විශේෂයෙන්ම බෝවන රෝගවලට  ඔරොත්තු දීමේ හැකියාව අඩුවේ. විවිධ ශ්වසන රෝග ඇති වීම මෙන්ම , ජාන විකෘතිතාවයන් ද ඇති වේ.

 

ඕසෝන් වියනට හානි වීමෙන් ඇති වෙන්නේ සෞඛ්‍ය ගැටළු විතරද?

සෞඛ්‍ය ගැටළු පමණක් නෙවෙයි, පාරිසරික හා වෙනත් ගැටළු ද ඇති වෙනවා. ඕසෝන් වියනට හානි වී පෘථිවිය ඍජුවම පාරජම්බුල කිරණවලට නිරාවරණය වීමෙන් ශාක වර්ධනය අඩාල වේ. විශේෂයෙන් රනිල කුලයේ ශාකවල ඵලදාව අඩු වීමෙන් ධාන්‍ය නිෂ්පාදනය නිසි අයුරින් සිදුනොවී මිනිසුන් තුළ ප්‍රෝටීන් ඌණතා ඇති වේ.

පාරජම්බුල කිරණ ජලය තුළින්ද ගමන් කිරීමේ හැකියාවෙන් යුක්තවන හෙයින් මත්ස්‍ය හා උභය ජීවීන්ගේ බිත්තරද විනාශ වේ. මත්ස්‍ය හා උභය ජීවී ගහණය අඩු වීමට එය හේතුවන අතර ජලජ ශාක ප්ලවාංග විනාශ වීම හේතුවෙන් විශාල මත්ස්‍යයන්ට ආහාර හිඟයක් ඇති වේ.

පෘථිවියේ උෂ්ණ්ත්වය ඉහළ යාමෙන් සාගර ජල මට්ටම ඉහළ යයි. ධ්‍රැව හා ග්ලැසියර් දියවීමෙන් ගොඩබිම් ජලයෙන් යටවන අතර එය විශේෂයෙන්ම ලංකාව, මාලදිවයින වැනි දූපත් රටවල්වලට විශාල තර්ජනයකි.

 

 

 

ඕසෝන් වියනට හානිවීමෙන් වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යන අතර ගෝලීය දේශගුණ රටාවන්ද වෙනස් වේ. වළාකුළු සෑදීමේ ආකාර වෙනස් වීම හේතුවෙන් කාලයට වැසි නොලැඹී යයි.

වායුගෝලයේ උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ද වැඩි වී ඕසෝන් ස්ථරවිභවය විනාශ වීම ද වේගවත් වේ.

ඕසෝන් වියන හානි වෙන්නේ මොනවායින්ද?

මේ වන විට ඕසෝන් ස්ථරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 96ක්  පමණ හදුනා ගෙන ඇති අතර ඒ අතරින් ද    “ හැලජනීකෘත හයිඩ්‍රෝකාබන්“ ඕසෝන් වියනේ විනාශයට වැඩි වශයෙන් දායකවන බව සොයාගෙන තිබේ. මෙම රසායනික ද්‍රව්‍ය ( Ozone Depleting Substance – ODS)  ලෙසින්ද හදුන්වයි.

මෙම ඕසෝන් ක්ෂයකාරී විභව මොනවද යන්න ඒවායේ ක්ෂයකාරී විභව අගය මත කාණ්ඩ ගත කොට ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම රසායනික ද්‍රව්‍ය සියල්ලම එක හා සමාන අයුරින් ඕසෝන් ස්ථරයේ විනාශයට දායක නොවේ. “ ඕසෝන් ක්ෂයකාරක විභවය“  CFC -11  රසායන ද්‍රව්‍ය මඟින් ඕසෝන් ස්ථරයට සිදුවන රසායන ද්‍රව්‍ය මඟින් ඕසෝන් ස්ථරයට සිදුවන හානිය ඒකක එකක් සේ සලකා ඊට සාපේක්ෂව අනෙකුත් රසායන ද්‍රවයන්ට “ ඕසෝන් ක්ෂයකාරක විභවය“ අගයන් ලබා දී තිබේ.

 

 

ඕසෝන් වියන ආරක්ෂා කරන්නේ කවුද?

1985  වර්ෂයේ දී පිහිට වු “වියානා සම්මුතිය“ පිහිටුවා ඒ මඟින් ඕසෝන් වියන රැක ගැනීමට ලෝක සම්මුති සැකසීම හා ඒ පිළිබඳ නීති හා තාක්ෂණ ක්‍රම සකස් කිරීම සිදු කෙරිණ.

1987 වර්ෂයේ දී ඕසෝන් ස්තරයට හානිකර ද්‍රව්‍ය නිෂ්පාදනය හා භාවිතය ක්‍රමයෙන් අඩු කරමින් සම්පූරණයෙන්ම නතර කිරීමට මෙන්ට්‍රියල් සංවිධානය මඟින් එකඟතාවයක් ද ඇති කරගෙන තිබේ.

ශ්‍රී ලංකාව ද 1989 වර්ෂයේ දී    වියානා සම්මුතියට හා මොන්ට්‍රියල් සංවිධානයට අත්සන් තබන ලදියි.

ඒවා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ?

ශ්‍රී ලංකාව මෙන්ට්‍රියල් සංවිධානයේ පාර්ශවකරුවෙකුවන අතර එහි ශ්‍රී ලංකා කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කරන පරිසර අමාත්‍යාංශය විසින් 1994 වර්ෂයේ දී ජාතික ඕසෝන් ඒකකය පිහියවනු ලැබීය.

  • ඕසොන් ක්ෂයකාරක ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම පාලනය කිරීම.
  • ක්ලෝරෝෆ්ලෝරෝකාබන් අඩංගු රසායනික ද්‍රව්‍ය භාවිතය හා එම රසායනික ද්‍රව්‍ය ඇතුළත් භාණ්ඩ, උපකරණ මෙරටට ආනයනය කිරීම තහනම් කිරීම.
  • 2030 වන විට හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරොකාබන් භාවිතය සම්පූර්ණයෙන්ද තහනම් කිරීම.
  • ඕසෝන් හිතකාමී තාක්ෂණය රටට හඳුන්වා දීම.
  • ඕසෝන් වියන හානියට ලක්වීමෙන් ඇතිවන අහිතකර තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම.

යන කටයුතු ජාතික ඕසෝන් ඒකකය මඟින් ඉටු කරනු ලබයි.

මිහිමත ජීවය රැදී පවතින්නේ ඕසෝන් වියන හේතුවෙනි. එය විනාශ වු දිනෙක පෘථිවිය ද ජිවයක් නොරැදි තවත් එක් ග්‍රහලෝකයක් බවට පත්වනු ඇත.

 

 

මුලාශ්‍ර සපයා ගැනීම

ජාතික ඕසෝන් ඒකකය මඟිනි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *