බුස්ටර් මාත්‍රාව හේතුවෙන් රෝහල් ගතවීම සියයට 90 කින් අඩුවී ඇතැයි හෙළි වෙයි.

Share Button

කොරෝනා එන්නතේ පලමු හා දෙවන මාත්‍රාව ලබා ගැනීමට ජනතාව දැක්වු උනන්දුව බුස්ටර් මාත්‍රාව ලබා ගැනීමට නොමැති බව වෛද්‍ය විශේෂඥයෝ කියති. මෙම බුස්ටර් මාත්‍රාව වෙනුවෙන් රජය විශාල මුදලක් දරා තිබේ. මෙම එන්නත්කරණය නිසා බොහෝ රටවල කොවිඩ් මර්දනය විය. ශ්‍රී ලංකාවේ ද එම තත්ත්වය පෙන්නුම් කර ඇති අවස්ථාවක ජනතාව මෙසේ ක්‍රියා කිරීම යළි ව්‍යසනයක් ඇතිවීමේ අවදානමක් බව ඔව්හු පෙන්වා දෙති. බුස්ටර් මාත්‍රාව දියුණු සෑම රටක්ම පාවිච්චි කරයි.

මාස හයක් පමණ ගතවීමෙන් පසු කොවිඩ් එන්නතේ ප්‍රතිශක්තිකරණය අඩුවන අවස්ථාවක බුස්ටර් මාත්‍රාවේ ඇති වැදගත්කම ඔව්හු අවධාරණය කරති. සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සහ සියලු රජයේ රෝහල්වල පෙරවරු 8.00 සිට රාත්‍රි 8.00 දක්වා බුස්ටර් මාත්‍රාව ලබාදෙයි. බුස්ටර් මාත්‍රාව කෙරෙහි ජනතාව වැඩි වැඩියෙන් යොමුවනු ඇතැයි රජය අපේක්ෂා කළත් මේ වනවිට එය ගෙන ඇත්තේ සියයට 20 ක් පමණි. ඇතැම් අයට සුඵ සංකුලතා මතුවුවත් බහුතරයකට ඉන් කිසිදු සංකුලතාවක් ඇතිවී නොමැත. සමස්ත ජනගහනයෙන් සියයට 73 කට වැඩි පිරිසක් පලමු මාත්‍රාව ලබාගෙන ඇත. දෙවන මාත්‍රාව සියයට 63 කට වැඩි පිරිසක් ලබාගෙන ඇත. මේ වනවිට වෛරසයේ බලපෑම යටපත්වී තිබුනත්,ඉදිරියේදී ඇති විය හැකි නව වෛරස් ප්‍රභේදවලට මුහුණදීමට නම් බුස්ටර් මාත්‍රාව ද ලබාගත යුතු යැයි වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය පවසයි.

දීර්ග නිවාඩුවක් පැවතියත් එන්නත්කරණය අඛණ්ඩව ක්‍රියාත්මකයි. වැඩිහිටි පිරිස් එන්නත් කිරීම සදහා යොමු කිරීම වැදගත්ය. ලෝක සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වාදී ඇත්තේ කොවිඩ් එන්නත් මාත්‍රා තුන මගින් අවුරුදු 65 ට වැඩි අය රෝහල් ගතවීම සියයට 90 කින් අඩු කළ බවයි. එම වයස් කාණ්ඩයේ එන්නත් මාත්‍රා දෙකම ගත් අය කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල් ගතවීම සියයට 50 කින් පහත වැටුනි. ඇමෙරිකාවේ ඔමික්‍රෝන් වැඩිපුර පැතිර ඇත්තේ අවුරුදු 65 ට වැඩි එන්නත් නොකළ ජනගහනය අතරේය. බුස්ටර් මාත්‍රාව ප්‍රධාන කාර්යයක් ඉටුකරන්නේ මෙවැනි අවස්ථාවකදීය. බුස්ටර් මාත්‍රාව පිළිබඳ වැරදි වැටහිම් හා මිත්‍යා මතවලින් ඉවත් වන්නැයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි. තුන්වන මාත්‍රාව මගින් ගර්භනී කාන්තාවන්ට ද කිසිදු අහිතකර බලපෑමක් මෙතෙක් වාර්තාවී නොමැති බව ජාතික රෝහලේ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *