අභියෝග ජයගෙන වඩාත් ශක්තිමත් ආර්ථිකයක් උදා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් බව ලෝක බැංකුව අවධාරණය කරයි
සාමූහික ප්‍රයත්නයක් මගින් වඩාත් ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාව සමත් බව ලෝක බැංකුව අවධාරණය කරයි. කොවිඩ්-19 වසංගතය ප්‍රශංසනීය ආකාරයෙන් කළමනාකරණය කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. කෙසේ වෙතත් වසංගතයේ විනාශකාරී ආර්ථික බලපෑම අවසන් වී නැත. කොවිඩ් වසංගතය විසින් දකුණු ආසියාතික රටවල් පුරා දැවැන්ත සාර්ව ආර්ථික අභියෝග රැසක් නිර්මාණය කර තිබේ. බලශක්ති හා ආහාර මිල ඉහළ යාම මෙන්ම උද්ධමනය ද ඉහළ යමින් පවතී. ජනතාවට සහන සැලසීම සහ බදු ආදායම අඩුවීම මගින් මූල්‍ය ශේෂය අයහපත් අතට හැරී ඇතැයි ලෝක බැංකුවේ බ්ලොග් අඩවිය සඳහන් කරයි.
ආනයන වියදම වැඩි වී තිබේ. අවිධිමත් අංශවල සේවකයෝ තම රැකියාව පිළිබඳව අවිනිශ්චිතතාවෙන් පසුවෙති. සංචාරක ව්‍යාපාරයට බරපතල පහරක් එල්ල වී ඇති අතර එය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතී. ප්‍රවාහන ක්ෂේත්‍රයද ක්‍රියාත්මක වනුයේ එහි ධාරිතාවට වඩා සියයට 14 ක් අඩුවෙනි.
දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව මූල්‍ය හිගයකින් සහ ගෙවුම්ශේෂයේ ජංගම ගිණුමේ හිගයකින් පෙළෙන බව ලෝක බැංකුව පෙන්වා දෙයි. ජාත්‍යන්තර සම්බන්ධීකරණයෙන් ගෙවුම් ශේෂය ස්ථාවර කළ හැකිය. අර්බුදයකින් රටවල් ශක්තිමත් වූ පළමු අවස්ථාව මෙය නොවන බවද ලෝක බැංකුවේ බ්ලොග් අඩවිය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ටෙලිකොම් අංශය සියයට 32 කින් ද, එහි මූල්‍ය අංශය සියයට 20 න්ද මූල්‍ය සේවා අංශය සියයට 28 කින්ද ප්‍රසාරණය වී තිබේ. ඒ අනුව ඒ අතින් ශ්‍රී ලංකාවේ අනාගතය ඉතා යහපත් බවට පෙනී යයි. අනෙකුත් දකුණු අසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සේවා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ඉහළ අගයක් ගනී.
නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළම සේවා සපයන සේවකයන් සිටින්නේ ද ශ්‍රී ලංකාවේ බව ලෝක බැංකුව සඳහන් කරයි. ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව පිළිබඳ අධ්‍යක්ෂ ෆාරිස් හැඩඩ්-ශෙර්වෝස් සහ දකුණු ආසියාවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ හැන්ස් ටයිමර් විසින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.