ජනාධිපතිතුමාගෙන් විපක්‍ෂ නායකවරයාට ලිපියක්

Share Button

එකගතා 4කට යටත්ව සමගි ජනබල සන්ධානයේ මුලිකත්වයෙන් සෙසු පක්‍ෂ සමග එක්ව කෙටිකාලිීන ආණ්ඩුවක් පිහිටුවීමටත් අගමැති ධුරය භාර ගැනීමටත් තීරණය කරමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා වෙත ඊයේ එවු ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.

පසුගිය 06 වැනිදා ඇමති මණ්ඩල රැස්වීමට ගත් එකගතාව අනුව අන්තර් කාලීන රජයක අගමැති ධුරය භාරගන්නැයි තමා මුලින්ම ආරාධනා කලේ ප්‍රේමදාස මහතාට බව ජනාධිපතිතුමා එම ලිපියෙන් සිහිපත් කරයි. ප්‍රේමදාස මහතා එම අවස්ථාවේ දැනුම් දුන්නේ ඊට තමා සුදානම් නැති බවයි. පසුගිය 09 වැනිදා හිටපු අගමැතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය ඉල්ලා අස්වනතුරුද ප්‍රේමදාස මහතාගෙන් ප්‍රතිචාරයක් නොලැබිණි.

පවතින අස්ථාවරත්වය නිම කර අන්තර්වාර රජයක් පිහිටුවීම සදහා තමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්‍ෂ නායකයන් සමගද සාකච්ඡා කළ බව ජනාධිපතිතුමා කියයි. තමාගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජයක කිසිදු වගකීමක් භාර නොගන්නා බව පසුගිය 10 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා පැවසු බවද ජනාධිපතිතුමා සිහිපත් කරයි. ඒ අනුව සෙසු පක්‍ෂ නායකයන් සමගද කළ සාකච්ඡාවකින් පසුව මේ අවස්ථාවේ අගමැති ධුරය භරගැනීමට සුදුසුම පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරාගත් බව එතුමා සදහන් කරයි.

ඒ අනුව ඊයේ පස්වරුවේ ඔහු අගමැති ධුරයේ දිවුරුම්දීමට සුදානමින් සිටියදී ඊට සුලු වේලාවකට පෙර කොන්දේසි කිහිපයක් යටතේ අගමැති ධුරය භාරගැනීමට සුදානම් බව සදහන් කරමින් ප්‍රේමදාස මහතා එවු ලිපිය තමාට ලැබුණ බව ජනාධිපතිතුමා සදහන් කර තිබේ. සෙසු පක්‍ෂ නායකයන් සමගද සාකච්ඡා කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කිරීමට ගත් තීරණය වෙනස් කිරීමට නොහැකි වු බව ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාස මහතා වෙත යැවු ලිපියේ සදහන් වෙයි. තම පක්‍ෂයේ කිසියම් පිරිසක් ඉදිරි ඇමති මණ්ඩලයට ඇතුළත් කිරීමට එකග වන්නේ නම් කඩිනමින් ඒ පිළීබඳව තමාට දැනුම් දෙන්නැයිද ජනාධිපතිතුමා සිය ලිපියෙන් ප්‍රේමදාස මහතාට දැනුම් දි තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...