රට අර්බුදයකට ඇද දැමුූ නිලධාරීන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි කෝප් කමිටුවෙන් නිර්දේශ

Share Button

රට විශාල අර්බුදයකට පත් කළ නිලධාරීන් සියලු දෙනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කරයි. රටේ ආර්ථිකය මෙහෙයවු කිහිප දෙනෙකුගේ තීරණ හේතුවෙන් මුඵ මහත් රටක් අද වනවිට විශාල අර්බුදයකට පත්ව තිබෙ. එය අපරාධයක් සේ සලකා කටයුතු කිරීමේ අවශ්‍යතාව හේරත් මහතා පෙන්වා දෙයි. විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව කෝප් කමිටුව හමුවට ඊයේ කැඳවු අවස්ථාවේ මෙම නිර්දේශය ලබාදී ඇත.

බාහිර පාර්ශ්වවල බලපෑමකින් තොරව නිවැරදි තාක්ෂණික කරුණු මත පිහිටා තීරණ ගැනීමේ බලය ද මහබැංකුව වෙත ලබාදිය යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඊයේ අවධාරණය කර තිබේ. එසේම පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීමට අදාල විසඳුම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ඉදිරි මාස තුනක හතරක කාලය සඳහා අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම තරමක් අසීරු වුවද කෙසේ හෝ එම අභියෝගය ජයගැනීමට උත්සාහ කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී සඳහන් කළේය. අර්බුදය විසඳා ගැනීම සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මහබැංකු අධිපතිවරයා ඇතුඵ නිලධාරින් කරන මෙහෙය කෝප් සභාපතිවරයාගේ ඇගයීමට ලක් විය.

පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා, ජගත් පුෂ්පකුමාර, ආචාර්ය සරත් වීරසේකර, මධුර විතානගේ සහ ප්‍රේමනාත් සී දොලවත්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ද විගණකාධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශයේ සහ මහබැංකුවේ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.