ඖෂධ හිඟයක් පිළිබඳ පවතින ප්‍රචාර සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රතික්ෂේප කරයි

Share Button

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දැවැන්ත ඖෂධ හිගයක් පවතින බවට පැතිර යන ප්‍රචාර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. පාලනය කළ නොහැකි ඖෂධ හිගයක් රටතුළ නැත. සැපයීමට නොහැකි වුවහොත් රෝගීන් මරණයට පත්විය හැකි ඖෂධ වර්ග 14 ක් පවතී. ඒ කිසිදු ඖෂධයක හිගයක් නැතැයි කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකධී ඇමතිවරයා අවධාරණය කළේය.

ජල භිතිකා රෝගය සදහා වන එන්නත් වල අඩුවක් පැවතිනි. එහෙත් මේ වනවිට එම ඖෂධය රෝහල්වලට සපයා තිබේ. තවත් ජල භිතිකා එන්නත් මාත්‍රා 25000 ක් අද ලැබීමට නියමිතයි. ලබන මස මුල් සතියේ චීනයෙන් තවත් එන්නත් ලක්‍ෂයක් ලැබීමට නියමිතයි.

ඇතැම් ඖෂධවල හිගයක් පැවතියද ඒවාට විකල්ප ඖෂධ ගණනාවක් ඇති බැවින් ඕනැම අසාධ්‍ය රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේ හැකියාව රෝහල් පද්ධතිය සතු බව සෞඛ්‍ය ඇමතිවරයා පැවසීය.

ඖෂධ ආනයනය සදහා වාර්ෂිකව වැය කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර් කෝටි 26 කට ආසන්නය. මේ වනවිට විවිධ ක්‍ෂේත්‍රවලින් අමෙරිකානු ඩොලර් කෝටි 5කට ආසන්න මුදලක් ලැබී තිබේ. ඊට අමතරව ඕස්ට්‍රේලියානු රජය සෞඛ්‍ය හා අත්‍යවශ්‍ය ආහාර වර්ග සපයා ගැනීමට පසුගිය සදුදා අමෙරිකානු ඩොලර් කෝටි 5 ක ආධාරයක් සැපයීය. තවත් අමෙරිකානු ඩොලර් කෝටි 50 කට ආසන්න මුදලක් ලැබීමට නියමිත බවත් ඉන් ඩොලර් 8 කෝටි 50 ලක්‍ෂයක් දැනට ලැබී ඇති බවත් සෞඛ්‍ය ඇමතිවරයා පැවසීය.

ලබන අගෝස්තු මාසය වනතුරු යම් යම් දුෂ්කරතා පැවතිය හැකිය. එහෙත් ලබන වසර මැද හෝ 2024 ආසන්න වනතුරු කිසිදු අවස්ථාවක රටතුළ ඖෂධ හිගයක් ඇතිවීමට ඉඩක් නැතැයි ඇමතිවරයා අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.