වසර 30 කට පසුව ශ්‍රී ලංකාව මව්බිමේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලි ජයක්

Share Button

වසර 30 කට පසුව මව්බිමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් පරදවා එක්දින තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වෙයි. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ ඊයේ පැවැති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා සිව්වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මීට පෙර 1992 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදීම ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් අත්කරගෙන තිබේ. ඇලන් බෝඩර් එදා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය දුන්නේය.

ඊයේ ලද ජයග්‍රහණයත් සමග එක් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව තරග 3 ට එකක් ලෙස තරගාවලි ජය අත්කර ගෙන තිබේ.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 කදී සියලු දෙනා දැවී ලකුණු 258 ක් රැස් කළේය. විශිෂ්ට ඉනීමක් ක්‍රිඩා කළ චරිත් අසලංක ලකුණු 110 ක් රැස් කළේය. එය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකයයි. එක් හයේ පහරක් සහ හතරේ පහර 10 ක් ඔහුගේ ඉනීමට ඇතුළත් විය. ධනංජයද සිල්වා ලකුණු 61 යි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී රැස් කරගත හැකිවුයේ ලකුණු 254 ක් පමණි. ඩේවිඩ් වෝනර් ලකුණු 99 යි. චාමික කරුණාරත්න, ධනංජයද සිල්වා සහ ජෙෆ්රි වැන්ඩර්ස් කඩුලු 2 බැගින් බිද හෙලුහ. චරිත් අකලංක තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා 5වන සහ අවසන් එක්දින තරගය ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදීම ලබන සිකුරාදා පැවැත්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.