09 වන පාර්ලිමේන්තුවේ 3 වන සභාවාරය ජනාධිපතිතුමා අද උත්සවාකාරයෙන් විවෘත කරයි

Share Button

09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු වෙයි.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට එතුමාගේ උපදෙස් අනුව විධිවිධාන යොදා ඇති බවත් ඒ අනුව ආචාර වෙඩි මුර හා රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියයි.

ඒ වෙනුවට එතුමා පිළිගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව ඉදිරිපිට දී ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරයක් පිරිනැමේ. ජනාධිපතිවරයාගේ ධජය එසවීමක් එහිදී සිදු නොවන අතර ජාතික කොඩිය පමණක් එසවීමට නියමිතයි.

පාර්ලිමේන්තු සභාවාරය විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, අගවිනිසුරුවරයා, උපරිමාධිකරණ විනිසුරුවරු, නීතිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුඵ පිරිසකට ඇරයුම් කර ඇතැයි ද වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.