සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගෙන් ඇරයුම්

Share Button

ඉතිහාසයේ දරුණුම ආර්ථික අගාදයකට වැටි තිබෙන රට ගොඩනැගිම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකතු වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් යළි ඉල්ලිමක් කරයි. අතීතය අමතක කර රට ගොඩනැගිම වෙනුවෙන් එකතු වන්නැයි ඔහු එහිදී මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා වන සාකච්ඡා දැනටමත් ආරම්භ කර තිබේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් යනු එක් පක්ෂයක තනි මතයට ක්‍රියාකරන ආණ්ඩුවක් නොවේ. එය පොදු ප්‍රතිපත්ති රාමුවක් තුළ සියලු පාර්ශ්වවල අදහස් අනුව පෝෂණය වන සහ සියලු දෙනාගේ අදහස් අනුව ක්‍රියාත්මක වන ආණ්ඩුවකි. මෙය සියලු දෙනා එකට එකතුවී ඉදිරියට ගෙන යන ආණ්ඩුවක් බවද එතුමා පවසයි.

09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු විය. එහිදී ජනාධිපතිතුමා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මෙම අදහස් පළ කළේය.

දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ආරම්භයක් ලෙස 19 වන සංශෝධනයේ තිබු සියලුම සාධනිය අංගයන් අන්තර්ගත කොට 22 වන සංශෝධනය සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙයි. ඒ සදහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් සියලු දෙනාගෙන් පුර්ණ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය. අවශ්‍ය සියලුම දේ 22 වන සංශෝධනයෙන් ඉෂ්ට කරගත නොහැකි වුවත් එය දේශපාලන ප්‍රතිසංස්කරණ මාලාවේ මුලික පදනමයි. එබැවින් එය ඒකමතිකව සම්මත කර ගැනීම වඩාත් යහපත් ඉදිරි පියවරක් වනු ඇත. දේශපාලන ප්‍රතිසංස්කරණ කවරේදැයි තීරණය කිරීම සදහා ජන සභාවක් ද ස්ථාපිත කෙරේ. එය පුර්ණ ස්වාධින ආයතනයක් ලෙස කටයුතු කෙරේ. එහි සංයුතිය සදහා විවිධ පාර්ශ්වවල අදහස් ලබා ගන්නා බවද එතුමා සදහන් කළේය.

ආර්ථික අර්බුදයෙන් රටේ සියලු දෙනා විවිධාකාර දුෂ්කරතාවලට මුහුණදී සිටිති. එම කරදර සහ පිඩාවලින් මිදීමේ මාර්ගය කරා රට ගෙනයාමට සියලු දෙනාගේ සහාය ඇතිව ක්‍රියා කෙරේ. මෙම දුෂ්කරතාවලින් මිදීමට නම් දිර්ඝ කාලීන විසදුම් කරා යා යුතුය. නැවත කිසිදිනක මෙවැනි අර්බුදයක් රට තුළ ඇති නොවන ලෙස ශක්තිමත් පදනමක් ඇති කළ යුතුය.

ඒ සදහා ආර්ථිකය නවීකරණය කළ යුතුය. ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙනඑන අන්තර් කාලීන අයවැය සහ 2023 අයවැය මගින් ඒ සදහා වන පදනම සහ සැලසුම් රාමුව ඉදිරිපත් කෙරේ. අන්තර් ජාතික මුල්‍ය අරමුදල සමග සිව්අවුරුදු වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා ආරම්භ කර තිබේ. අගෝස්තු මාසයේ සිට එම සාකච්ඡා ඉදිරියට ගෙනයාමට ක්‍රියා කෙරේ. මුලික වටයේ මාණ්ඩලික සාකච්ඡා කඩිනමින් සහ සාර්ථක ලෙස අවසන් කිරීම රජයේ බලාපොරොත්තුවයි. ණය ස්ථාවර කරලීමේ සැලසුම් අවසන් අදියරේ පවති. එය නොබෝ දිනකින් අන්තර් ජාතික මුල්‍ය අරමුදලට ඉදිරිපත් කෙරේ. ඉන්පසු ණය ආධාර ලබාදී ඇති රටවල් සහ පුද්ගලික ණයකරුවන් සමග සාකච්ඡා කර එකගතාවකට පැමිණිමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය. ඉදිරි වසර 25 සදහා වන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ද සකස් කෙරේ. දිළිඳු හා අඩු වරප්‍රසාද කණ්ඩායවම් රැක බලා ගනිමින් ව්‍යවසායකයින් දිරිමත් කරමින් නිර්මාණය කරන්නාවු සමාජ වෙළෙඳපොල ආර්ථික ක්‍රමයකට අවශ්‍ය පදනම එමගින් සකස් කෙරේ.

තමා කිසිවිටක ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදයට ඉඩ ලබා නොදෙන බව පැවසු ජනාධිපතිචුමා අවිහිංසාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බව සදහන් කරයි. සාමකාමි ලෙස අරගලයේ යෙදිම මුලික මිනිස් අයිතිවාසිකමකි. එම අයිතිවාසිකම පිළිගන්නා බව ද එතුමා සදහන් කරයි. සාමකාමි අරගලකරුවන් ආරක්ෂා කිරීමට සහ ඔවුන් වෙනුවෙන් පෙනි සිටිමට විශේෂ කාර්යාංශයක් ද පිහිටුවේ. එය පැය 24 පුරා ක්‍රියාත්මකයි. ඒ සදහා විශ්‍රාමික විනිසුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ස්ථාපිත කරන බව ඔහු පැවසීය. මැයි 09 වැනිදා සාමකාමි අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයන් සහ අරගලයට මුවාවී ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පැතිරවු පුද්ගලයින් සම්බන්ධයෙන් එක ලෙස නීතිය ක්‍රියාත්මක කෙරේ. මේ ක්‍රියාවලියේදී කිසිදු දේශපාලන බලපෑමක් සිදු නොවීමට වගබලා ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය. එමෙන්ම එතුමා අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටියේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සහාය දක්වන ලෙසයි. එබැවින් අනවසර ස්ථානයන්හි තවදුරටත් රැදි නොසිට ඉන් ඉවත් වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

රටක ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉහල වැජඹෙන රජ කෙනෙකු හෝ දෙවියෙකු නොවිය යුතුය. ඔහු හෝ ඇය පුරවැසියන් අතර කෙනෙකි. එබැවින් වෙනම ධජ ලාංජන මෙන්ම ගෞරව සම්මානවලින් පුජනීයත්වයට පත්කළ යුතු නැත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.