22 වන සංශෝධනයේ ඇතැම් වගන්ති ව්‍යවස්ථානුකුල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

Share Button

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකුල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සභාවට දැනුම් දුන්නේය. එම වගන්ති තවදුරටත් සංශෝධනය කළයුතු බවත් එසේ නොවන්නේ නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පෙරවරුවේ ආරම්භවීමෙන් පසු ඔහු මේ බව නිවේදනය කළේය.

අඩු ආදායම්ලාභින් සදහා සමාජ සුබසාධන පනතක් ගෙනඒමට කටයුතු කරන බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. අඩු ආදායම් ලාභීින්ගේ ජීවන තත්ත්වය නංවාලීමේ වැඩපිළීවෙලක්ද රජය ක්‍රියාත්මක කර ඇත. ළමා නිවාසවල සිටින දරුවන් පාසල්ගත කිරීම සදහා වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ඔහු කීවේය.

චීන පොහොර නෞකාවේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රිකව විසදා ගැනීමට ක්‍රියාකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි. මේ සදහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කර ඇත. දෙරටේ මිත්‍රත්වයට බාධාවක් නොවන පරිදි එය විසදා ගැනීම රජයේ අපේෂාව බවද ඔහු සදහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කුමාරී කවිරත්න මහත්මියගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ මහ බැංකු අධිපති ඉවත් කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවයි. එතුමා විදේශගතව සිටියදී මෙරටට ගෙන්වා එම තනතුරට පත්කරනු ලැබුවේ රජය විසින් බවද ඔහු පැවසීය.

ත්‍රිරෝද රථ සදහා ඕනෑම පිරවුම්හලකින් ඉන්ධන ලබාගත හැකි බව අමාතය කංචන විජේසේකර මහතා කියයි. මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ සදහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යනයක් කර ඇත. ඒ අනුව ඔවුන්ට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමුව තිබේ. ත්‍රිරෝද රථ සදහා සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහි ආරම්භක වැඩපිළීවෙලක් ලෙස පසුගිය සති 5 තුළ පොලිස් ස්ථාන මට්ටමින් සහ පළාත්පාලන මට්ටමින් ත්‍රිරෝද රථ ලියාපදිංචිය ආරම්භ කර තිබේ. ත්‍රිරෝද දසලක්‍ෂ 43 දහසකට වැඩි සංඛ්‍යාවක් කිව් ආර් ක්‍රමවේදය යටතේ දැනටමත් ලියාපදිංචිවී ඇතැයි ඔහු කීවේය.

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් පරිපුර්ණ නීති පද්ධතියක් හදුන්වාදීමට රජයේ අවධානය යොමුවෙයි. ඊට අදාළ සියලු කරුණු සහ මානව හිමිකම් ආරක්‍ෂා කිරීමේ අන්තර්ජාතික ප්‍රමිති සහ නිර්දේශද සැලකිල්ලට ගෙන මෙය සකස් කෙරේ. ඒ සදහා වන මුලික කෙටුම්පත සැකසීම සදහා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කෙරේ ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධීපතිවරයා සහ අධීකරණ හා විදේශ කටයුතු යන අමාත්‍යවරුන් ඒකාබද්ධව ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. එය අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...