චීනයේ අඛණ්ඩ සහාය අගමැතිගේ පැසසුමට

Share Button

චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහාය ඉතා ඉහලින් අගය කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. වත්මන් ආර්ථික අර්බුදය සමනය කිරීමට චීනය ලබාදෙන සහායට ඔහු සිය විශේෂ ස්තුතිය පළ කළේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොං මහතා හමුවු අවස්ථාවේදීය. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුඵ ජාත්‍යන්තර සමුඵවල දී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් චීනයේ ස්ථාවරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විශේෂ සදහනක් කළේය. දෙරට අතර ඓතිහාසික මිතුදමක් තිබේ. පවතින තත්ත්වය හමුවේ දෙරට අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම මෙම හමුවේ දී අවධාරණය කෙරුණි. ආර්ථික ප්‍රශ්නවලට දීර්ඝ කාලීන විසදුම් ලබාදීමට සෘජු පෞද්ගලික ආයෝජන මෙන්ම කෘෂිකර්මාන්තය පුනර්ජනනිය බලශක්තිය වාරිමාර්ග සහ ජලසම්පාදන ක්‍ෂේත්‍රවල ආයෝජන ශ්‍රී ලංකාව පිළිගන්නා බව ගුණවර්ධන මහතා පැවසීය. අන්තර් ජාතික මුල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ තම රට සෑහීමකට පත්වන බව චීන තානාපතිවරයා මෙහිදී කීවේය. චීනය ද එම අරමුදලේ සාමාජිකයෙකු බැවින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදෙන බවට තානාපතිවරයා සහතික විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...