ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ සිවිල් ගුවන් සේවා පනතේ නියෝග පාර්ලිමේන්තුවේ දී සම්මතයි

Share Button

ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. ඒ පිළිබඳ විවාදයට එක්වු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ රටේ මුලික ප්‍රතිරූපයට හානි වන අයුරින් ප්‍රවෘත්ති පළ නොකිරීමෙන් මාධ්‍යයට කීර්තියක් අතවන බවයි. කුමන පක්ෂයකට රජය මෙහෙයවීමට වුවද රට පිළිබඳ හොඳ ප්‍රතිරූපයක් පැවතිය යුතුය. ජාතික ව්‍යසනවලදී ඊට මුහුණදීමට පොදු වැඩපිළිවෙලක් අවශ්‍යය. ඇතැම් නාලිකා මගින් පෞද්ගලික මත ප්‍රකාශ කරන බවත් ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා කීවේය. ආර්ථිකය ගොඩනැගිම කෙරෙහි විද්වතුන්ගේ මතවාදවලට ජනමාධ්‍ය තුළ වැඩි ඉඩක් ලබාදිය යුතුය. ජනතාව දැනුවත් කිරීමේ ජාතික මෙහෙවර මාධ්‍ය තුළින් ඉටුවිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

විවාදයට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා සදහන් කළේ රුපවාහිනි සංස්ථා පනත රටේ වත්මන් අභියෝගවලට සරිලන පරිදි සකස්විය යුතු බවයි. අද වනවිට පෞද්ගලික නාලිකා රාශියක් ද බිහිවී තිබේ. උතුරු නැගෙනහිර හා කඳුකරයේ ජනතාව ඉන්දියානු නාලිකා නැරඹිමට පුරුදුවී සිටිමෙන් රටට විශාල මුදලක් අහිමිවන බවද ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතින් සුරක්ෂිත කිරීමට ප්‍රමුඛතාවය ලබාදෙන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය. එමෙන්ම කටුනායක ගුවන් තොටුපල ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවද ඔහු පැවසුවේය. ගුවන් මගීන්ගේ සුරක්ෂිත භාවය වැඩි කිරීමට ලොව රටවල් පියවර ගෙන ඇත. ඒ අනුව මෙරට ගුවන් මගීන්ගේ සුරක්ෂිතාව ඉහල නැංවීමට අවශ්‍ය නීති සම්පාදනය කළ යතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා කථා කරමින් ඖෂධ හිගයක් හා මන්දපෝෂණ තත්ත්වයක් ඇති බව පිළිගෙන ඒවාට විසදුම් ලබාදීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය බව පෙන්වා දුන්නේය. රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සදහන් කළේ ඉදිරියේදී මෙරට ගුවන් යානා බලඇණිය අඩු වෙමින් පවතින බවයි. එම නිසා ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලක් මගින් ඊට පිළියම් යෙදිය යුතු බවද ඔහු කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...